ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් මේ දේවල් දැන සිටිය යුතුමයි.

ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් මේ දේවල් දැන සිටිය යුතුමයි.



ව්‍යාපාරයක් සාර්ථක කරන්න නම් මේ දේවල් දැන සිටිය යුතුමයි.


ලංකාවේ අළුතෙන් පටන් ගන්නා ව්‍යාපාර 80 % කටත් අධික සංඛ්‍යාවක් අවුරුද්දක් ඇතුලත අසාර්ථක වෙලා වැහිලා යනවා කියලා විවිධ සමීක්ෂණ වලින් හෙලි වෙලා තිබෙනවා. ඒ වගේම දැනට පවත්වාගෙන යන ව්‍යාපාර වල වුනත් බලාපොරොත්තු වන ලාභය ලබා ගන්න අසීරු තත්වයක් දැක ගන්නට ලැබෙනවා. ඒ කියන්නේ වචනයෙන්ම කිව්වොත් බොහොමයක් ව්‍යාපාර කරන්නේ රෝලක් ගහන එක.ඒ විතරක් නෙමෙයි තවත් සමහර ව්‍යාපාර හොඳින් පවත්වාගෙන යනවා වගේ බාහිරට පේන්න තිබුනත්, ඒවායේ හිමිකරුවන් නිරන්තරයෙන්ම පසුවන්නේ දැඩි මානසික පීඩනයකින්, ආතතියකින්.

ඉතින් මෙවැනි තත්වයක් උදා වෙන්න හේතු වෙලා තිබෙන කරුණු මොනවාද කියලා හඳුනා ගැනීමට බිස්නස් ඉස්කෝලේ අපි මාස ගණනාවක් වෙහෙස මහන්සි වෙලා පුළුල් සමීක්ෂණයක් සිදු කලා.මේ සමීක්ෂණය අප විසින් සිදු කරනු ලැබුවේ ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් විශාලසංඛ්‍යාවක් සහභාගී කරවාගෙනයි.

එපමණක් නෙමෙයි, කලින් ව්‍යාපාර කරලා අසාර්ථක වෙලා පාඩු ලබලා, සිටින අයවත් අපි මේ සමීක්ෂණයට සහභාගී කරවා ගත්තා.  මෙම සමීක්ෂණය අවසාන වන විට මෙලෙස ව්‍යාපාර අසාර්ථක වීමට, පාඩු ලැබීමට සහ කෙටි කාලයක් ඇතුලත වැසී යාමට බලපාන ප්‍රධානතම හේතු ගණනාවක් හඳුනා ගැනීමට අපට හැකි වුනා. සමහර ව්‍යාපාරිකයන්ට එක් හේතුවක් තිබුනා. තවත් සමහර ව්‍යාපාරිකයන්ට හේතු ගණනාවක් තිබුනා. මේ කොහොම වුනත් මේ සියලුම හේතු වලට කියන තනි නම තමයි "ව්‍යාපාර සාක්ෂරතාවය". ඉහතින් දැක්වූ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මේ කියන ව්‍යාපාර සාක්ෂරතාවය මෙම ව්‍යාපාරිකයන් හට නොමැති වීමයි.

මොකක්ද මේ ව්‍යාපාර සාක්ෂරතාවය කියන්නේ ?

ව්‍යාපාර සාක්ෂරතාවය යනු " ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සාර්ථකව  පවත්වාගෙන යාමට, කළමනාකරණය කිරීමට සහ වර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය වන මූලික දැනුම සහ අවබෝධයයි ". තව දුරටත් මේක සරලව පැහැදිලි කලහොත්, අපි සිතමු යම් පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා වාහනයක් පැදවීමට. වාහනයක් පදවාගෙන යම් ගමනක් සාර්ථකව නිම කිරීමට ඔහුට අවශ්‍ය වෙනවා. මේ ආකාරයට වාහනයක්, අනතුරක් නොවී පදවාගෙන යාමට නම් එම වාහනය පදවාගෙන යාමට බලාපොරොත්තු වන ඔහු, දැනගෙන සිටිය යුතුම කරුණු ටිකක් තිබෙනවා. වාහනය පන ගන්වන්නේ කොහොමද ?, ඇක්සලේටරය කියන්නේ මොකක්ද? ක්ලච් එක කියන්නේ මොකක්ද?, ගියර් පද්ධතිය වැඩ කරන්නේ කොහොමද?, සුක්කානම ක්‍රියා කරන්නේ කොයි ආකාරයෙන්ද ?,  කියන මූලික කරුණු වාහනයක් ආරක්ෂිතව පැදවීමට නම් දැනගෙන සිටිය යුතුම වෙනවා. ඒ වාගේම එම අංගෝපාංග නිසි පරිදි, නිසි වේලාවට භාවිතා කල යුතු ආකාරයත් දැන ගත යුතු වෙනවා. මේ සියල්ල සාර්ථකව භාවිතා කිරීමට දෑතේ හුරුවක් සහ පුහුණුවකුත් අවශ්‍ය වෙනවා. ඉතින් හිතලා බලන්න ඔය කලින් කියලා තිබෙන කරුණු ටික නොදැන කිසියම් පුද්ගලයෙක් වාහනයක් පැදවීමට උත්සාහ කලහොත් සිදුවන්නේ කුමක්ද කියලා. නියත වශයෙන්ම වාහනය අනතුරට ලක්වෙලා විශාල විනාශයක් සිදුවෙන එක ඒකාන්තයි. අනිත් දේ තමයි වාහනය මොකක් වුනත් මේ ටික දැනගෙන සිටිය යුතුම වෙනවා. වාහනය කාර් එකක් වුනත්, ලොරියක් වුනත්, බස් එකක් වුනත්, ත්‍රී රෝද රථයක්, යතුරු පැදියක් වුනත් සාර්ථකව පැදවීමට නම් අනිවාර්‍යයෙන්ම මේ කරුණු ටික දැනගෙන ඉන්න අවශ්‍යම වෙනවා. ඉතින් ව්‍යාපාර වලදිත් එහෙම තමයි. ව්‍යාපාරය මොකක් වුනත්, කුමන මට්ටමක ව්‍යාපාරයක් වුනත්, කුමන ආකාරයකට ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් වුනත්, ඒක ඇන ගන්නේ නැතුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නම් දැනගෙන සිටිය යුතුම කරුණු ටිකක් තිබෙනවා. දැන් අපි බලමු එම කරුණු මොනවාද කියලා.

1) පාරිභෝගික තෘප්තිය.

ව්‍යාපාරයක් කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝහිකයන් වෙත අලෙවි කරන එකට කියලා තමයි ගොඩක් අය සිතාගෙන ඉන්නේ. නමුත් පාරිභෝගිකයන් එම භාණ්ඩය හෝ සේවාව මිලදී ගැනීමට පෙළඹෙන්නේ එය මිලදී ගෙන භාවිතා කිරීමෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්, අභිලාශයන් තෘප්තිමත් වෙනවා නම් පමණයි. තවත් පැහැදිලි වෙන්න කිව්වොත් එම භාණ්ඩය මිලදී ගැනීමෙන් එම පාරිභෝගිකයාගේ කිසියම් ගැටලුවක් විසඳෙන්න අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට හිසේ කැක්කුමක් තිබෙන කෙනෙක් පැනඩෝල් පෙති දෙකක් මිලදී අරන් පානය කිරීමෙන් එම පුද්ගලයාගේ හිසේ කැක්කුම සමනය වෙනවා. ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරට එන පොඩි බඩගින්න සමනය කර ගැනීමට කිසියම් පුද්ගලයෙක් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට්ටුවක් මිලදී ගන්නවා. එයින් ඔහුගේ පොඩි බඩගින්න සමනය වෙනවා. වාහන පැදවීමට ඉගෙන ගැනීමට අවශ්‍ය කෙනෙක් රියදුරු පුහුණු පාසලකට ඇතුලත් වෙනවා. එහිදී ඔහුට වාහන පදවන ආකාරය, රථ වාහන නීති රීති, මාර්ග නීති රීති ආදිය මෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වීමත් නිසි පරිදි ලබෙනවා. එම සේවාවෙන්  ඔහුගේ වාහන පැදවීමේ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනවා.

ඕනෑම ව්‍යාපාරයක් තමන් අලෙවිකරණ භාණ්ඩ හෝ සේවාවන් වලින් පාරිභෝගික අවශ්‍යතාවයන් තෘප්ත කිරීම අවශ්‍ය වෙනවා. බොහොමයක් ව්‍යවසායකයන් සාර්ථකත්වයට පත් වී තිබෙන්නේත්, මිනිසුන්ගේ කුමන හෝ ප්‍රශ්නයක් හෝ අවශ්‍යතාවයක් හඳුනාගෙන ඒවාට නිර්මාණශීලීව විසඳුම් ලබා දෙන නවෝත්පාදනයන් බිහි  කිරීම තුලිනුයි.

ඉතින් ව්‍යාපාරයක් කරන, ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වන ඔයා දැන ගන්න අත්‍යවශම වන පළවෙනිම දේ තමයි, ඔයා අලෙවිකරන භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔයාගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කල යුතුයි කියන කාරණාව. ඒකෙන් පාරිභෝගිකයන් තෘතිමත් කල යුතුයි කියන එක.

2 ) නිෂ්පාදනය හදන තැන පටන් අලෙවිකරණ උපක්‍රම.

ව්‍යාපාරයක් කරන අය දැනගෙන සිටිය යුතුම දෙයක් තමයි නිෂ්පාදනය හෝ සේවාව නිර්මාණය කරන තැන පටන් යොදා ගත යුතුම අලෙවිකරණ උපක්‍රම මොනවාද කියන එක. ඒ කියන්නේ යම්කිසි නිෂ්පාදනයක් හෝ සේවාවක්, පාරිභෝගිකයන් තෘප්ත කල හැකි අයුරින් නිෂ්පාදනය කරලා තිබෙනවා නම්, එහි ගුණාත්මක භාවය හොඳ මට්ටමක පවතිනවා නම්, අලංකාරවත් බවින්, ආකර්ශණීය මිල ගණන් වලින් යුක්‍ත වෙනවා නම් ඒවා අලෙවි කිරීමට විශාල වෙහෙසක් දැරීමට අවශ්‍ය වන්නේ නෑ. එක් වරක් එම භාණ්ඩ භාවිතා කරන හෝ එක වරක් සේවාව අත්විඳින පාරිභෝගිකයන් නැවත නැවතත් ඒවා මිලදී ගැනීමට පෙළඹීම නිසැකයෙන්ම සිදුවන දෙයක්.

මේ ගැන තේරුම් ගැනීමට අලෙවිකරණ මිශ්‍රය යන සංකල්පය ගැන කතා කල යුතුම වෙනවා. මෙම සංකල්පයට 1953 වසර දක්වා දිවෙන ඉතිහාසයක් තිබුනත්, මෙය ඉතා ප්‍රායෝගිකව භවිතා කල හැකි සංකල්පයක් ලෙස මුලින්ම ඉදිරිපත් කරනු ලබන්නේ නූතන අලෙවිකරණයේ පියා ලෙස හඳුන්වන මහාචාර්ය පිලිප් කොට්ලර් විසින්. මේ වන විට මේ සංකල්පය තව තවත් පෝෂණය වෙලා, ව්‍යාපාරික ලෝකයට නතුවම බැරි සංකල්පයක් බවට පත්වෙලා තිබෙනවා. අලෙවිය ඉහල නංවා ගැනීම සඳහා අවධානය යොමු කල යුතු ප්‍රධාන කරුණු 7 ක් ගැන මෙහිදී අවධානය යොමු කරනවා. මේකට 7 Ps කියලත් කියනවා. දැන් අපි බලමු මොනවාද මේ කරුණු 7 කියලා.

1 )  Product  - නිෂ්පාදනය.

2 )  Price -  මිල.

3 )  Place - ස්ථානය.

4 )  Promotion - ප්‍රවර්ධනය.

5 )  people - ජනතාව.

6 )  process - ක්‍රියාදාමය.

7 )  physical environment - භෞතික පරිසරය.

නිෂ්පාදනය කියන සාධකයෙන් අවධානය යොමු කරන්නේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මක භාවය, අලංකාර බව, සන්නාමය, ඇසුරුම්කරණය, වෙළෙඳපොළේ ඇති වෙනත් සමාන භාණ්ඩ වලට වඩා විවිධත්වයක් එක් කරන්නේ කසේද ?, භාණ්ඩය සඳහා ලබා දිය හැකි වගකීම, එම භාණ්ඩය පාරිභෝගිකයන් භාවිතා කිරීමේදී ආරක්ෂාකරීව භාවිතා කල හැකිද යන්න වැනි, නිෂ්පාදනය කෙරෙහි පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගත හැකි කරුණු පිළිබඳවයි.

මිල යන සධකය මගින්, තමන්ගේ නිෂ්පාදනයට හෝ සේවාවට මිල නියම කලහැකි ක්‍රමවේද මොනවාද?, මිල අඩු කිරීම්, වට්ටම් ලබා දීම් වැනි විවිධ උපක්‍රම භාවිතා කිරීම මගින් සහ පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ ලබාදීම වැනි ක්‍රමවේද භාවිතා කිරීම මගින් භාණ්ඩ අලෙවිය ඉහල නංවා ගත හැකි ආකාරය ගැන මෙමගින් අවධානය යොමු කරනවා.

ස්ථානය යන්නෙන් අදහස් කරන්නේ අප නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය පාරිභෝගිකයා මිලදී ගන්නේ කොතැනින්ද?, පාරිභෝගිකයාට එය මිලදී ගැනීමට පහසු කරන්නේ කෙසේද යන්නයි. අදාල නිෂ්පාදනය හෝ සේවාව වෙළඳ සැලක් හරහා අලෙවි කරනවාද?, අන්තර්ජාලයෙන් ඇනවුම් ලබාගෙන නිවසටම ලැබෙන්නට සලස්වනවාද? වැනි කරුණු ගැන මෙම පියවරේදී අවධානය යොමු කරනු ලබනවා.

ප්‍රවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව ගැන පාරිභෝගිකයන්ට දැනුම්  දෙන්නේ කොහොමද යන්නයි. ඒ කියන්නේ ප්‍රචාරණය කරන්නේ කෙසේද යන්නයි. දැන්වීම් මගින්, සමාජ මාධ්‍ය මගින්, කට කතා මගින්, මහජන සම්බන්ධතා මගින් ඔයාගේ නිෂ්පාදනය මහජනතාව අතර ප්‍රචලිත කිරීම ගැන මෙහිදී අවධානය යොමු කරනවා.

ජනතාව යන කොටසෙන් අවධානය යොමු කරන්නේ ඔයාගේ ව්‍යාපාරය කරගෙන යාමේදී නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා, බෙදාහැරීමේ කටයුතු සඳහා, ප්‍රවර්ධන කටයුතු සඳහා, කළමනාකරණ කටයුතු සඳහා දායක කර ගන්නා පුද්ගලන් පිළිබඳවයි. අදාල වැඩ කොටස ඉටු කිරීමට සුදුසුකම් සහ හැකියාවන් සහිත මෙන්ම ගැලපෙන පුද්ගලයන් තෝරා ගැනීමෙන් ඔයාගේ ව්‍යාපාරයට වාසි අත් කරගන්නා ආකරය මෙමගින් සාකච්චා කරනවා.

ක්‍රියාදාමය කියන්නේ ව්‍යාපාරයේ අලෙවි කටයුතු සිදුවන අකාරයටයි. පාභෝගිකයන් රස්තියාදු නොකොට ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වෙන පරිදි අවශ්‍ය වේලාවට භාණ්ඩ හා සේවා සැපයීම ගැන මෙහිදී අවධානය යොමු කරනු ලබයි.

භෞතික පරිසරය යන්නෙන් අදහස් වන්නේ,  ඔයාගේ ව්‍යාපාරය පවත්වගෙන යන ස්ථානය කෙබඳු විය යුතුද යන්නයි. ව්‍යාපාරික ස්ථානය පිරිසිදුව, පිලිවෙලට, සහ පාරිභෝගිකයන්ට පහසුවෙන් ලඟා විය හැකි ආකාරයට පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ලබනවා.

ඉතින් ඉහත කරුණු පිලිබඳව ඉතා ඕනෑකමින් සැලකිලිමත් වෙලා, නිවැරදිව එම කරුනු භාවිතා කලහොත් ඔයාගේ භාන්ඩ හා සේවාවන් අලෙවි කර ගැනීමට ලොකු ආයාසයක් දරන්න අවශ්‍ය වන්නේ නෑ.

3 ) නිෂ්පාදන පිරිවැය ගණනය කර ගන්නා ආකාරය.

තමන්ගේ ව්‍යාපාර පාඩුයි කියලා නිතර කියන බොහෝමයක් දෙනා වරද්දාගෙන තිබෙන දෙයක් තමයි මේක. ලංකාවේ ව්‍යාපාරියන් බොහෝ දෙනා කරන්නේ කුමක් හෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරලා, එම භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදාගත් අමුද්‍රව්‍ය වලට ගිය වියදමට, ලාභය වශයෙන් තවත් මුදලක් එකතු කරලා, මිල නියම කරගෙන අලෙවි කටයුතු කරන එක. නමුත් මෙතනදී බොහොමයක් දෙනාට නිෂ්පාදන පිරිවැය නිවැරදිව ගණනය කිරීමේදී එකතු කල යුතුම වියදම් එකතු කිරීමට අමතක වෙනවා, එහෙමත් නැත්නම් එම වියදම් එක්කල යුතුමයි කියලා මේ අය දන්නේ නෑ.  උදාහරණ ලෙස භාණ්ඩ නිශ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය පිරිවැයට අමතරව , ව්‍යාපාරික ස්ථානයේ විදුලි බිල, වතුර බිල, කුලිය, දුරක්ථන බිල්, බැංකු පොලී, සේවක වැටුප් වැනි පිරිවැය මෙන්ම තමන් ව්‍යාපාරය වෙනුවෙන් වැය කරන කාලය වෙනුවෙන්ද පිරිවැයක් වෙන් කලයුතු වෙනවා. යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා නම් ඒවායේ ක්ෂය පවා පිරිවැයට ඇතුලත් කල යුතු වෙනවා. භාණ්ඩයේ මිල තීරනය කල යුතු වන්නේ ඉන් පසුවයි. නැත්නම් ව්‍යාපාරයේ පිරිවැය මෙලෙස මග හැරී තිබීම තුලින් ඔයාට නොදැනීම විශාල පාඩුවක් සිදුවෙනවා. එතකොට, ඇයි මෙච්චර භාණ්ඩ අලෙවි වෙලත් හැමදාම පාඩු ලැබෙන්නේ ?, කොච්චර මහන්සි වුනත් හැමදාම පාඩුයිනේ?, වගේ ප්‍රශ්න ඔයාගේ මනසට වද දෙන්න ගන්නවා. ඔන්න ඔය වෙලාවට තමයි ගොඩක් අයට හිතෙන්න පටන් ගන්නේ, මට කවුරු හරි කොඩිවිනයක් කරලා, හූනියමක් කරලා වගේ දේවල්.

නිෂ්පාදන පිරිවැය නිවැරදිව ගණනය කර ගැනීමට දැනගැනීමෙන් ඔයාට ඔයාගේ ව්‍යාපාරය ලාභත් නැතිව, පාඩුත් නැතිව පවත්වාගෙන යන්න නම්, මසකට හෝ දිනකට, නිෂ්පාදන කොපමණ ප්‍රමාණයක් අනිවාර්‍යයෙන්ම අලෙවි කල යුතුද යන්න සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. එලෙස දැනගන්නා අවස්ථාව වන විටත් ඔයාගේ ව්‍යාපාරය අලෙවි කරන්නේ අනිවාර්‍යෙයෙන් අලෙවි කලයුතු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නම්, ඔයාගේ ව්‍යාපාරය පාඩු ලබන ව්‍යාපාරයක් කියලා හඳුන්වන්න සිදු වෙනවා. ඊට අමතරව නිෂ්පාදන පිරිවැය ගණනය කර ගැනීම තුලින් ඔයාගේ ව්‍යාපාරයෙන් ඔයා අපේක්ෂා කරන ලාභය ලබා ගන්න අනිවාර්‍යයයෙන්ම කොපමණ ප්‍රමාණයක් අලෙවි කල යුතුද යන්න සොයා ගැනීමට ඔයාට හැකියාව ලැබෙනවා. ඉතින් ව්‍යාපාරයක් කරන හෝ ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්න ඔයා නිෂ්පාදන පිරිවැය නිවැරදිව ගණනය කර ගන්නා ආකාරය දැනගෙන සිටිය යුතුම වෙනවා.

4 ) වෙළෙඳ ප්‍රචාරණය.

වෙළෙද ප්‍රචාරණය කියලා කියන්නේ ලොකු කුඩා සෑම ව්‍යාපාරයකටම නැතුවම බැරි අංගයක්. මෙම වෙළෙඳ ප්‍රචාරණය හොඳ මට්ටමක පවත්වා ගැනීමට කිසියම් ව්‍යාපාරයකට හැකියාව ලැබුන හොත්, බලාපොරොත්තු වූවාටත් වඩා ලාභ ඉපයීමට බොහෝ විට හැකියාව ලැබෙනවා. නමුත් මෙහිදී නිකන්ම නිකන් පොටෝ කිහිපයක් සමාජ මාධ්‍ය ජාල වල දාන එක තමයි වෙළෙඳ ප්‍රචාරණය කියලා හිතාගෙන කටයුතු කලහොත්, කලින් කිව්වා වගේ ලාභ උපයන්න පුළුවන් තත්වයකට එන්න ලැබෙන්නේ නෑ. මොකද ප්‍රචාරණයේදී, එහෙමත් නැත්නම් දැන්වීම්කරණයේදී පිළිපැදිය යුතු, උපයෝගී කරගත යුතු විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, ජන සන්නිවේදනාත්මක, මඟ පෙන්වීම් ටිකක් තිබෙනවා. ඒවාට අනුව ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් පමණයි අපිට වැඩි පාරිභෝගික ආකර්ශනයක් දිනා ගැනීමට හැකියාව ලැබෙන්නේ.

අප දකින ඕනෑම සාර්ථක වෙළෙඳ දැන්වීමකදී, මුලින්ම දැන්වීම කෙරෙහි අපගේ අවධානය ලබා ගන්නවා, ඒ සඳහා ඔවුන් ලස්සන නළු නිලියන් භාවිතා කිරීම වැනි උපක්‍රම භාවිතා කරනවා. ඊළඟ පියවරේදී කරන්නේ දැන්වීමෙන් අලෙවි කරන්නට උත්සාහ කරනු ලබන භාණ්ඩය ගැන අප තුල උනන්දුවක් ඇති කරවන එක. මේ පියවර දෙකට උදාහරණයක් විදිහට අපිට බියුටි ක්‍රීම් දැන්වීමක් ගන්න පුලුවන්. පළමු දර්ශනයේ පෙන්වන්නේ කුරුලෑ ආසාදනය නිසා මුහුණ අවලස්සන වෙලා ඉන්න තරුණියක්. ඇය කියනවා " එයාව හම්බ වෙන්න යන්න තව සති දෙකයි තියෙන්නේ, ඒත් මේ පිම්පල්ස් ගොඩත් එක්ක මං කොහොමද එයාව හම්බවෙන්නේ". කියලා. ඔන්න අවධානය දිනා ගත්තා. දැන් මේ දැන්වීම බලන, අහන කුරුලෑ නිසා පීඩා විඳින සියලූම දෙනාගේ අවධානය මේ දැන්වීම වෙත යොමු වෙලා ඉවරයි. දෙවන දර්ශනයට එනවා ඉතාම ලස්සන, පැහැපත්, ලප කැලැල්, කුරුළෑ නැති සමක් සහිත කාන්තාවක්. ඇය කියනවා " කුරුළෑ වදයට සති දෙකෙන් විසඳුම් ලබා දෙන මේ ක්‍රීම් එක විශ්වාසයෙන් පාවිච්චි කරන්න" කියලා. ඊට පස්සේ අලෙවි කරන්න අවශ්‍ය ක්‍රීම් එක අර පළමුවෙන්ම පෙන්වපු දුකින් සිටි කාන්තාවට ලබා දෙනවා. ඒ අතරතුරේ සති දෙකෙන් ප්‍රතිඵල, 100 % ක් ස්වාභාවික අයුර්වේදීය ශාක සාර වලින් නිපදවන ලද ක්‍රීම් එකක් වගේ දේවල් කියනවා. සමේ පැතිකඩ  ත්‍රිමාන රූප ඇසුරින් අර ක්‍රීම් එක සම ඇතුලතටම ගිහින් සම පිරිසිදු කරන දර්ශන පෙනවනවා. ඔන්න ඔය අවස්තාවේදී තමයි මේ දැන්වීම ගැන දැනටමත් අවධානයෙන් ඉන්න අයට මේ ක්‍රීම් එක ගැන උනන්දුවක් ඇති වෙන්නේ. ඊලඟ දර්ශනයේදී පෙන්වන්නේ අර කලින් කුරුලෑ අසාදනය නිසා පීඩා විඳපු කාන්තාව, දැන් ක්‍රීම් එක භාවිතා කරපු නිසා ඉතාම ලස්සන වෙලා රතු පලස මතින් ඇවිදන් එන දර්ශනයක්. දැන් ඇයට තිබෙන්නේ දිදුලන සමක්. ඇය දෙස බලන තරුණයන් බලාගත් වනම බලාගෙන ඉන්නවා. තව සමහරු ඇය දෙස බලාගෙන ගිහින් අහල පහල කනු වල හැපෙනවා. විශාල ආකර්ශනයක් ඇයට ලැබී ඇති බව මෙම දර්ශන වලින් පෙන්නවනවා. ඉතින් ඒ දෙස බලාගෙන ඉන්න අයටත් ඒ වගේ වෙන්න ආශාවක් ඇති වෙනවා. ඒක තමයි දැන්වීම්කරණයේ 3 වැනි පියවර.අශාව ඇති කරවන එක. අන්තිම පියවර තමයි ක්‍රියාව. ඒ කියන්නේ මිලදී ගැනීමට ඉක්මනින් උනන්දු කරවන අවසාන පියවර. මේකෙදි සති දෙකින් කුරුලෑ මට්ටු කරන්න. අදම මිලදී ගන්න. වගේ දේවල් ප්‍රකාශ කිරීම තුලින් මිලදී ගැනීම වේගවත් කරවන්න උත්සාහ කරනවා.

ඉහතින් සඳහන් කරපු සංකල්පයට කියන්නේ A I D A සංකල්පය කියලා.

A - Attention ( අවධානය )

I - Interest ( උනන්දුව )

D - Desire ( ආශාව )

A - Action ( ක්‍රියාව )

ඉතින් මේ කිව්වේ එක සංකල්පයක් විතරයි. තවත් මේ වගේ දැන්වීමකරණ උපක්‍රම බොහෝමයක් තිබෙනවා. මේ වගේ දේවල් නොදැන ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු ඔයා කරන්න ගියොත් ඒකෙන් ලොකු වාසියක් ලබා ගන්න ඔයාට නොහැකි වෙනවා. සමාජ ජාල දැන්වීමක්, අත් පත්‍රිකාවක්, පෝස්ටරයක්, රූපවාහිනී දැන්වීමක්, ගුවන්විදුලි දැන්වීමක්, පුවත්පත් දැන්වීමක් වගේ කුමන දැන්වීමක් ඵල කරද්දී වුනත් මෙම විද්‍යාත්මක සංකල්ප භාවිතා කරලා දැන්වීම් නිර්මාණය කලොත් තමයි ඉහළ ප්‍රතිඵල ලබා ගන්න ඔයාට හැකියාව ලැබෙන්නේ.

5 ) ව්‍යවසායකත්ව සංකල්ප ප්‍රායෝගිකව යොදා ගැනීම.

මොකක්ද මේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ?. අපේ ගොඩක්ම ව්‍යාපාරිකයන් ව්‍යවසායකත්වය කියන වචනය එහෙන් මෙහෙන් අහලා තිබුනාට, ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නෑ. සමහර අය ඒ ගැන හරියටම දැනගෙන හිටියත් ප්‍රායෝගිකව එම සංකල්ප භාවිතා කරන්න උත්සාහ කරන්නේ නෑ. ව්‍යාවසායකතවය කියන්නේ මොකක්ද කියලා කට පාඩම් කරගෙන වැඩක් නෑ. ව්‍යවසායකත්වය යන්න අවබෝධ කරගැනීම තමයි කල යුතු වන්නේ. එලෙස අවබෝධ කර ගැනීමෙන් පසුව ව්‍යවසායකයෙකු ලෙස ලෝකය දකින්නට හැකියාව ලැබෙනවා. සරලවම කිව්වොත් ව්‍යවසායකත්වය කියලා කියන්නේ,

"මිනිස් අවශ්‍යතා හා වුවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා මතු කරමින්, අවදානම් කළමනාකරණය කරමින් කෙරෙන නව්‍යතා සම්පාදන ක්‍රියාවලියයි."

ව්‍යවසායකයෙක් නිරන්තරයෙන්ම මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සහ උවමනාවන් හඳුනා ගන්නවා, ඒවා තෘප්ත කිරීම සඳහා, කිසියම් ගැටලුවක් විසඳීම සඳහා අලුත් නිෂ්පාදන, අලුත් සේවාවන්, අලුත් ක්‍රමවේදයන් නිර්මාණශීලීව ගොඩනගනවා. මේ දේවල් කරනකොට ව්‍යවසායකයෝ විශාල අවදානමකුත් ගන්නවා. ප්‍රශ්නයක් හඳුනා ගන්නවා. උත්තරයක් හදනවා.

උදාහරණයක් විදිහට ඉස්සරම තිබුනු හිරමන වල පොල් ගාන්න තිබුනේ පොළොව මට්ටමමේ වාඩි වෙලා. එතකොට කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, වයසක අයට වාඩි වුනාම නැගිටින්න අමාරුයි වගේ ප්‍රශ්න තිබුනා. ඒකට විසඳුමක් විදිහට ටිකක් උස බංකුවක හිරමන තලය සවි කරලා, කොන්ද රිදෙන්නේ නැතුව, බිමටම පහත් වෙලා පොල් ගාන්න අවශ්‍ය වෙන්නේ නැතුව, පොල් ගාන වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් හිරමනයක් හඳුන්වලා දෙනවා. ඒක ව්‍යවසායකත්ව සංකල්පයක් ලෙස හඳුනා ගන්න පුලුවන්. මෙවැනි නව නිපැයුම් පමණක් නෙමෙයි නව අලෙවි ක්‍රමවේද, නව සේවාවන් වගේ දේවල් වුනත් ව්‍යවසායන් විදිහට සංවර්ධනය කරන්න පුලුවන්.

ලෝකයේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීලා තිබෙන්නේ ව්‍යවසායකයින්. ලෝකය මේ මට්ටමට දියුනු වෙලා තිබෙන්නත් ව්‍යවසායකයිකන්ගේ නවෝපාදන හේතු වෙලා තිබෙනවා. ඉතින් ලංකාවේ අපේ වැඩිහිටි පුරවැසියන්ට වගේම, දරුවන්ටත් ව්‍යවසායකත්වය කියන සංකල්පය උගන්වලා, ව්‍යවසායකත්ව ඇසකින් ලෝකය දෙස බැලීමට පුරුදු කරන එක, ඔවුන්ගේ අනාගතයටත්, රටේ අනාගතයටත් ඉතාම වැදගත් වෙනවා.

6 ) වෙළෙඳපොළ පර්යේෂණය.

වෙළෙඳපොළ පර්යේෂණය කියලා කියන්නෙත් ව්‍යාපරයක් කරගෙන යන අය වගේම, අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගැනීමට සිතාගෙන ඉන්න අයත් දැනගෙන සිටිය යුතුම දෙයක්. දැනගෙන ඉඳලා විතරක්ම මදි ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය වෙනවා. වෙළෙඳපොළ පර්යේෂණයකින් සිදු වන්නේ තමන්ගේ ව්‍යාපාරය, නිෂ්පාදනය හෝ සේවාව කෙරෙහි පාරිභෝකයන් තුල තිබෙන ආකල්පය කුමක්ද යන්න පරීක්ෂා කිරීමයි. තවද මෙවැනි පරීක්ෂණයකින් වෙළෙඳපොළේ අපට සිටින තරඟකරුවන් කවුරුන්ද යන වගත් හඳුනා ගැනීමට හැකියව ලැබෙනවා. අපගේ භාණ්ඩයට හෝ සේවාවට යම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒවා සිදු කලයුත්තේ කුමන ආකාරයකටද කියලත් දැන ගැනීමට මෙහිදී හැකියාව ලැබෙනවා.

වෙළෙඳපොළ පර්යේෂනයක් සිදු කල යුතු අවස්ථාවන්,

  1. නව ව්‍යාපාරයක්, නිෂ්පාදනයක්, සේවාවක් හඳුන්වා දෙනු ලබන අවස්ථාවකදී - එයට ඇති පාරිභෝගික ඉල්ලුම පරීක්ෂා කර ගැනීමට සහ එමගින් පාරිභෝගික තෘප්තිය ලබාදිය හැකිද යන්න පරීක්ෂා කර ගැනීමට.
  2. ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසු -  තමන්ට සිටිනුයේ කුමන ආකාරයේ පාරිභෝගිකයන්ද යන්න පරීක්ෂා කරගැනීමට, පාරිභෝගික පදනම හඳුනා ගැනීමට, එමගින් එම පාරිභාගික කොට්ටාස හඳුනාගෙන, ඒ අය ඉලක්ක කර අලෙවි මෙහෙයුම් දියත් කල හැක.
  3. ව්‍යාපාරය පරිනත අවස්ථාවේදී - වෙනස් කලයුතු දේවල් වෙනස් කිරීම පිණිස තොරතුරු රැස් කිරීමට, ව්‍යාපාරය තව තවත් වර්ධනය කර ගැනීම සඳහා තොරතුරු රැස් කර ගැනීමට.

මෙවැනි වෙළෙඳපොළ පර්යේෂණයක් සිදු කිරීමෙන් ඕනෑම ව්‍යාපාරයකට ඇති අනාගත අභියෝග හඳුනාගෙන ව්‍යාපාර ඉදිරියට ගෙනයාමට අවස්ථාව ලැබෙනවා.

7 ) ව්‍යාපාරයේ ගිණුම් නිවැරදිව පවත්වා ගැනීම.

අප සිදු කරන ලද සමීකෂණයෙන් හෙළි වූ ආකාරයට ලංකාවේ සුළු ව්‍යාපාර කරගෙන යන බොහෝ පිරිසක් නිවැරදිව ගිණ්මු පොතක් පවත්වාගෙන යන්නේ නැහැ. සමහර අයට මුළු ජීවිත කාලය පුරාවටම ව්‍යාපාර ගිණුම් සටහන් කරන පොතක් තිබිලා නෑ, තැන් තැන්වල කොල කෑලි වල, පොත් කෑලි වල තමයි ගනු දෙනු ලියන්නේ. ඉතින් නිවැරදිව පිළිවෙලට ගණන් හිලවු බලා ගන්න එයාලට බෑ. ලාභ අලාභ හරියට බලා ගන්න එයාලට බෑ. ඉදිරියේදී නැතිවම බැරි වන බදු කළමනාකරණ කටයුතු වලටත් මේක බාධාවක් වෙනවා. ඉතින් ව්‍යාපාරයේ ගිණුම් පවත්වාගෙන යන ආකාරයත් ව්‍යාපාර්‍යක් කරන කෙනෙක් දැනගෙන සිටිය යුතු වෙනවා.

8 ) ව්‍යාපාර සැලසුම.

ව්‍යාපාරයේ එදිනෙදා මෙහෙයුම්, මාසික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට වගේම අනාගතයේදී සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක වෙත පියනැගීම සඳහාත්, ව්‍යාපාර සැලැස්මක් තිබීම අවශ්‍ය වෙනවා. තවත් වසර 5 කින් ව්‍යාපාරය තිබිය යුත්තේ කොතැනද? . වසර 10 කින් ව්‍යාපාරය තිබිය යුත්තේ කොතැනද ? , යනාදී කරුණු පිළිබඳව නිසි සැලැස්මක් ඇතිව ක්‍රියා කලහොත් එම ඉලක්කවලට පැහැදිලිව ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් බැංකු ණයක්, ආයෝජනයක් ලබා ගැනීමේදීද නිවැරදි සහ තාර්කික ව්‍යාපාර සැලැස්මක් තිබීම අනිවාර්‍ය වෙනවා.

9 ) සමාජ මාධ්‍ය අලෙවිකරණය.

ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරගැනීමට අද කාලයේ නැතුවම බැරි දෙයක් තමයි මේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ. දැන් ඉස්සර වගේ නෙමෙයි සමාජ මාධ්‍ය හරියට හසුරවන්න දන්නවා නම්, ඔයාගේ ව්‍යාපාරයේ සන්නාමය ප්‍රවර්ධනය කරගැනීමට විතරක් නෙමෙයි ඇනවුම් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මේ  z පරපුර වැඩිහරියක්ම කාලය ගත කිරීමට හුරු වෙලා තිබෙන්නේ මේ සමාජ මාධ්‍ය තුලයි. ඉතින් අනාගත පරපුර වෙනුවෙන් ඔයාගේ භාණ්ඩ හෝ සේවා අලෙවි කිරීමට ඔයාට බලාපොරොත්තුවක් තිබෙනවා නම්, නව පරපුර ඉලක්ක කරලා ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු කරන්න ඔයාට සමාජ මාධ්‍ය ගැන දැනගෙන ඉන්නම වෙනවා.


10 ) ව්‍යාපාර දියුනුවට AI තාක්ෂණය භාවිතා කිරීම.

AI තාක්ෂණය භාවිතා කිරීම මගින් ව්‍යාපාර දියුනු කර ගැනීමට විශාල රුකුලක් ලබා ගන්න පුළුවන්. උදාහරණ විදිහට කිව්වොත්, ව්‍යාපාර ප්‍රවර්ධන සමාජ ජාලා දැන්වීම් සහ වීඩියෝ නොමිලේ නිර්මාණය කර ගැනීමට, ව්‍යාපාරික දැනුම ලබා ගැනීමට, අන්තර්ජාල වෙළෙඳපොළ පර්යේෂණයක් සිදු කර ගැනීමට, තමන්ගේ භාණ්ඩ හා සේවාවන් වෙනත් රට වලට අලෙවි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය වන භාෂා පරිවර්ථන කටයුතු, ව්‍යාපාරික මග පෙන්වීම්, නව ව්‍යාපාර සඳහා අදහස් ලබා ගැනීමට වගේ විශාල වැඩ කොටසක් මෙම AI තාක්ෂණය මගින් ලබා ගත හැකි වෙනවා. හැබැයි මෙම තාක්ෂණහ හැම වෙලාවකම නිවැරදිම සහ ප්‍රායෝගික වෙන්නේ නැති නිසා නිසි අවබෝධයකින් මේකත් එක්ක වැඩ කරන්න ඔයා දැනගෙන ඉන්න වෙනවා.

11 ) ව්‍යාපාරයේ බදු කළමනාකරණය.

ව්‍යාපාරයක් කරගෙන යනවානම්, අදාල සීමාවන් සහ අනපනත්, රෙගුලාසි වලට අනුකූලව රජය වෙත බදු ගෙවීම සිදු කල යුතු වෙනවා. බදු ගෙවන්නන් සඳහා විවිධ වරප්‍රසාද මෙන්ම, බදු පැහැර හරින්නන් හට දඬුවම්ද ලබා දීමට රජයකට නීතියට අනුව හැකියාව ලැබී තිබෙනවා. ඉතින් මේ බදු ගැන දැනගෙන සිටීමත් ව්‍යාපාරික ඔයාට ඉතාම වැදගත් වෙනවා.

අප විසින් කරන ලද සමීක්ෂණයට අනුව ලංකාවේ ව්‍යාපාර බොහොමයක් අසාර්ථක වීමට හේතු වෙලා තිබෙන්නේ ඉතත දක්වන ලද කරුණු එකක් හෝ කිහිපයක් නොදන්නා කම හෝ නිවැරදිව භාවිතා නොකිරීම නිසයි.


නොමිලේ ඉගෙන ගන්න.

ඉහතින් දැක්වූ කරුණු වලට අදාලව පහත සදහන් පාඩම් වීඩියෝ පාඨමාලාව හරහා දැන් ඔයට නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. කාලය පැය 6 යි, පාඩම් 4 යි.

1). නිෂ්පාදනය හදන තැන පටන් අලෙවිකරණ උපක්‍රම.

2). ව්‍යවසායකත්වය හඳුනා ගැනීම සහ ප්‍රායෝගිකව භාවිතා කිරීම.

3). ව්‍යාපාර දියුණුවට වෙළෙඳ ප්‍රචාරණ උපක්‍රම.

4) නිෂ්පාදන පිරිවැය නිවැරදිව ගණනය කර ගන්නා ආකාරය.

සම්බන්ධ වීමට වෙබ් අඩවියේ පසෙකින් ඇති whatsapp button හරහා අප වෙත පණිවිඩයක් යොමු කරන්න.

Tags: #අලෙවිකරණය #අලෙවිකරණ මිශ්‍රය #Marketing #Marketing Mix #Business sucsess #sinhala business letters
Share:

Comments (0)

Leave a Comment

No comments yet. Be the first to share your thoughts!

Chat with us